ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර ද්විපාර්ශ්වික සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දෙරටේ ප්‍රථම දේශපාලන උපදේශන සාකච්ඡාව පසුගිය 17 වනදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී සාර්ථකව පවත්වා තිබේ. දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කිරීම මෙහි මූලික අරමුණ වූ අතර, ශ්‍රී ලංකා දූත පිරිසට අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා සහ බෙල්ජියම් දූත පිරිසට බර්ගිට් ස්ටීවන්ස් මහත්මිය නායකත්වය ලබා දී ඇත.
මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වූ ක්ෂේත්‍ර කිහිපයක් මෙසේය. වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී විශේෂයෙන්ම හරිත බලශක්තිය, ඖෂධ නිෂ්පාදනය, තොරතුරු තාක්ෂණය (ICT) සහ වරාය සැපයුම් ක්ෂේත්‍රවල බෙල්ජියම් ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව සිය උනන්දුව පළ කළේය. එසේම යුරෝපා සංගමයේ GSP+ සහනය අඛණ්ඩව ලබා ගැනීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සිදු කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය. මෑතකදී බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසුව සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බෙල්ජියමේ සහාය ද මෙහිදී ඉල්ලා සිටින ලදී.
සමුද්‍රීය ආරක්ෂණය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වූ සහයෝගීතාවය ද මෙම හමුවේදී තහවුරු විය. විශේෂයෙන්ම 2028 වසරේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරෙන බැවින්, එය ඉහළින් සැමරීමට සහ දේශපාලන උපදේශන සාකච්ඡා නිතිපතා පැවැත්වීමට දෙපාර්ශ්වයම එකඟතාවට පැමිණියහ. යහපාලනය, ජාතික සංහිඳියාව සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය බෙල්ජියම් රජයේ ඇගයීමට ලක් වූ අතර, යුරෝපා සංගමය තුළ ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අඛණ්ඩව ලබා දෙන බවට ද ඔවුහු සහතික වූහ.












