වසර නවයකට පසු පැවැත්වෙන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්මය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනවාරි මාසයේදී උත්තරීතර මහා නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත. අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී බලපිටියේ සිරිසීවලී නාහිමියන් සඳහන් කළේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් රජය දක්වන මෙම දායකත්වය අගය කරන බවයි.
මෙම රාජ්‍ය උපසම්පදා මහෝත්සවය ලබන ජූලි මස 09 වැනිදා පස්වරු 3.00 ට කළුතර බෝධිය අභියසදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. ජූලි 09 සිට 25 දක්වා පැවැත්වෙන මෙම විනයකර්මය සඳහා සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් සහභාගී වන අතර, කළුතර බෝධිය අභියස පිහිටි උදකුක්ඛේප සීමා මාලකයේදී එය සිදු කෙරේ. ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය මත ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ පෞද්ගලික ආයතන රැසක සහාය ඇතිව මෙහි සංවිධාන කටයුතු සිදු කිරීමට අදාළ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවැත්විණි.














