ගෝලීය වශයෙන් ඉහළ යන වෙළඳ අර්බුද සහ භූ දේශපාලනික අවිනිශ්චිතතා හේතුවෙන් මෙරට ආර්ථික කාර්යසාධනයට සහ වර්ධන අපේක්ෂාවන්ට බාධා එල්ල විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. සිය නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් මහ බැංකුව මේ පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
2025 වසරේ මුල් මාස නවය තුළ ආර්ථිකය ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ අතර, එම වසරේ අග භාගයේ බලපෑ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම් කෙටි කාලීනව මන්දගාමී විය. කෙසේ වෙතත්, ආර්ථිකය ඉක්මනින් යථා තත්ත්වයට පත්වීම සහ රජයේ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් හේතුවෙන් ඉදිරියේදී කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කරන බව මහ බැංකුව විශ්වාසය පළ කරයි.
සුළි කුණාටුවෙන් සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා 2026 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ පරිපූරක අයවැය ඇස්තමේන්තුව හරහා රජය සහන ක්‍රියාමාර්ග සහ යටිතල පහසුකම් පිළිසකර කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මෙය ආර්ථිකයේ ධනාත්මක වර්ධනයට සෘජුව සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මහ බැංකුව අවධාරණය කරන්නේ දේශීය වශයෙන් ආර්ථිකය ස්ථාවර වුවද, ජාත්‍යන්තර මට්ටමින් පවතින ආර්ථික සහ දේශපාලන අස්ථාවරත්වයන් මෙරට අපනයන ආදායම සහ විදේශ ආයෝජන කෙරෙහි බලපෑම් කළ හැකි බවයි.














