හොර්මූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම සඳහා ඕමානය වෙත තාවකාලික යෝජනාවක් ඉදිරිපත් කළ බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසෙම් ගරීබාබාදි (Kazem Gharibabadi) ප්‍රකාශ කරයි. එම යෝජනාවට අනුව නාවික ගමනාගමනයේ එක් දිශාවක ගමන් මාර්ගයක් සම්පූර්ණයෙන්ම ඉරාන මුහුදු සීමාව හරහා වැටී ඇති අතර, අනෙක් දිශාවේ ගමන් මාර්ගයේ කොටසක්ද ඉරාන මුහුදු සීමාවට ඇතුළත් කර ඇත.
ඕමානය විසින් නාවික ගමන් මාර්ග දෙරට අතර සමසමව බෙදා ගැනීමට කළ යෝජනාව ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ. කලාපීය ස්ථාවරත්වය ඇති වන තෙක් තමන්ගේ ආරක්ෂක ගැටලුවලට එමගින් විසඳුම් නොලැබෙන බව පවසන ඉරානය, තමන් ඉදිරිපත් කළ නව යෝජනාව ඕමානය ප්‍රතික්ෂේප කළහොත් හොර්මූස් සමුද්‍ර සන්ධිය වසා තබන බවට අනතුරු අඟවයි.
එමෙන්ම ජාත්‍යන්තර නාවික සංවිධානය විසින් මීට පෙර අනුමත කර තිබූ සාම්ප්‍රදායික ගමන් මාර්ග පද්ධතිය (TSS) තවදුරටත් පිළිනොගන්නා බවත්, ඇමරිකානු සහ ඉශ්‍රායල ප්‍රහාරවලින් පසු නෞකා නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බවත් ඉරානය පෙන්වා දෙයි. මීට අමතරව, ඕමානයේ ආරාධනයෙන් වුවද වෙනත් කිසිදු තෙවැනි රටකට හොර්මූස් සමුද්‍ර සන්ධියේ වළලා ඇති මයින් බෝම්බ ඉවත් කිරීමට ඉඩ නොදෙන බවද ඉරානය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













