ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ෂාජහන්පූර් (Shahjahanpur) හි වාර්ෂිකව පැවැත්වෙන සම්ප්‍රදායික ‘ජුටා මාර් හෝලි’ (Juta Maar Holi) පෙරහැර නිමිත්තෙන් පෙරහැර මාර්ගයේ පිහිටි මුස්ලිම් පල්ලි සහ මසාර් (mazars) 48ක් ඝන ප්ලාස්ටික් හා තාරපෝලින් ආවරණ යොදා වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. හෝලි උත්සවය අතරතුර ඇති විය හැකි ආගමික ගැටුම් වළක්වා ගැනීම සහ සාමකාමී වටපිටාවක් පවත්වා ගැනීම මෙහි අරමුණයි.
මෙය ශතවර්ෂ ගණනාවක් පැරණි සුවිශේෂී සම්ප්‍රදායකි. මෙහිදී බ්‍රිතාන්‍ය යුගයේ පාලකයෙකු ලෙස සැරසී මී හරක් කරත්තයක ගමන් කරන ‘ලාට් සහබ්’ (Laat Sahab) නමැති පුද්ගලයාට ජනතාව විසින් පාවහන්වලින් පහර දෙමින් වීදි සංචාරය කරනු ලබයි. මෙය බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව පවතින සංකේතාත්මක විරෝධයක් ලෙස සැලකේ.
මෙවර පෙරහැරේ ආරක්ෂාව සඳහා පසුගිය වසරට වඩා 1.5 ගුණයක ආරක්ෂක බලඇණියක් යොදවා ඇති බව පොලිස් අධිකාරී රාජේෂ් ද්විවේදි පවසයි. ඒ අනුව කොස්තාපල්වරුන් 1,200ක්, හෝම්ගාඩ් නිලධාරීන් 500ක් ඇතුළු විශාල පිරිසක් සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) කණ්ඩායමක් ද සේවයේ යොදවා ඇත.
Surveillance කටයුතු සඳහා කිලෝමීටර් 8ක පෙරහැර මාර්ගය පුරා සූර්ය බලයෙන් ක්‍රියා කරන CCTV කැමරා 100කට අධික සංඛ්‍යාවක් සවි කර ඇති අතර, විදුලිය විසන්ධි වුවද එමගින් පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. පෙරහැර මාර්ගයට සම්බන්ධ වන කුඩා මංතීරු 148ක් බාධක යොදා වසා දමා ඇත්තේ අනපේක්ෂිත ජනගඟක් මාර්ගයට පිවිසීම පාලනය කිරීමටයි.
18 වැනි සියවසේ මුල් භාගයේ ආරම්භ වූ මෙම සම්ප්‍රදාය, පසුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී නිල උත්සවයක් බවට පත් වූ අතර අද දක්වාම හින්දු සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ සහභාගීත්වයෙන් මෙය පවත්වනු ලබයි.














