ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ අල්මෝරා (Almora) හි පැවති හින්දු සමුළුවකදී වෛරී සහගත ප්‍රකාශ (Hate Speech) සිදු කිරීම සම්බන්ධයෙන් ‘මහාමණ්ඩලේෂ්වර් ලාල් බාබා’ (Mahamandleshwar Lal Baba) නමැති හිමිනමකට එරෙහිව එරට පොලිසිය විසින් නඩු පවරා තිබේ. ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය අජේ තම්තා (Ajay Tamta) ද සහභාගී වූ උත්සවයකදී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර ඇත.
ප්‍රාන්ත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රශේඛර් ආර්. ගෝඩ්කේ පවසන්නේ ‘භාරතීය න්‍යාය සංහිතා’ (BNS) හි 196 (1) වගන්තිය යටතේ එනම් විවිධ ආගමික කණ්ඩායම් අතර සතුරුකම් ඇති කිරීමේ චෝදනාව මත මෙම පළමු තොරතුරු වාර්තාව (FIR) ගොනු කර ඇති බවයි.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සමුළුව සංවිධානය කළ ‘මා නන්දා හින්දු සමුළුවේ’ කැඳවුම්කරු මනෝජ් සන්වාල් විසිනි. ලාල් බාබා විසින් සිදු කළ ප්‍රකාශයන් සමුළුවේ ගෞරවයට හානි කළ බවත්, ඔහු සතු වේද සහ උපනිෂද් දැනුම පිළිබඳ විශ්වාසයෙන් ඔහුට ආරාධනා කළ ද ඔහු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කමිටුව වගකීමක් නොදරන බවත් සන්වාල් පවසයි.
ලාල් බාබා සිය කතාවේදී “ජිහාඩ් මානසිකත්වයක් ඇති අයට උත්තරාකන්ඩ් ප්‍රාන්තයෙන් පිටව යන ලෙස” අනතුරු අඟවා තිබේ. තමා කිසිදු පොලිස් ක්‍රියාමාර්ගයකට බිය නොවන බව පවසා ඇති ඔහු, “එළුවන් කපන්නා සේ තමා ඔවුන්ව කපා දමන” බවට ද ප්‍රචණ්ඩකාරී ප්‍රකාශ සිදු කර ඇත.
පොලිස් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් උත්තරාකන්ඩ් ප්‍රාන්තය තුළ දැඩි දේශපාලනික සහ සමාජයීය කතාබහක් නිර්මාණය වී තිබේ.













