එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පදිංචිව සිටි නිවස පිළිසකර කර ඔහුගේ සහෝදරියට පැවරීමට ගත් තීරණයට ඇය අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන්, එම ස්ථානය කලාගාරයක් සහ කෞතුකාගාරයක් බවට පත් කිරීමට වැල්වැටිතුරේ ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ. ප්‍රභාකරන් වයස අවුරුදු 13 දක්වා ජීවත් වූ මෙම නිවස පිහිටි භූමියේ මහල් තුනකින් යුත් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා දේශීය හා විදේශීය දෙමළ බුද්ධිමතුන්ගේ සහාය ලබාගන්නා බවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නඩරාජා අනන්තරාජ් මහතා (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙම නව ව්‍යාපෘතිය යටතේ ගොඩනැගිල්ලේ බිම් මහලේ කලාගාරයක් ද, දෙවන සහ තෙවන මහල්වල දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික ඉතිහාසය සහ ඓතිහාසික සිදුවීම් ඇතුළත් ගැලරියක් ද ස්ථාපිත කිරීමට නියමිතය. අනාගත තරුණ පරම්පරාවේ පෞරුෂ වර්ධනය සඳහා අධ්‍යාපනික, සංස්කෘතික සහ ආධ්‍යාත්මික වටිනාකම් සහිත නායකත්ව ව්‍යුහයක් මෙම මධ්‍යස්ථානය හරහා නිර්මාණය කිරීම අපේක්ෂාව බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඉඩම් හිමියන්ගේ අභිමතය පරිදි සිදුකෙරෙන මෙම ඉදිකිරීම් දෙමළ ප්‍රජාවට ප්‍රතිලාභයක් වන අයුරින් සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.














