මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් වන කෝමර්ෂල් බැංකුවේ ගිණුම් හිමියන් 99 දෙනෙකුට අයත් රුපියල් කෝටි ගණනක මුදලක් සංවිධානාත්මක පිරිසක් විසින් වංචනික ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (25) නියෝග කළේය. බැංකුවේ මූලස්ථානයේ ඩිජිටල් බැංකු අංශයේ විධායක නිලධාරියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අධිකරණයට දන්වා සිටියේ, සැකකරුවන් විසින් කෝමර්ෂල් බැංකුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති බවයි. එමගින් ගිණුම් හිමියන්ගේ රහස්‍ය තොරතුරු සූක්ෂ්ම ලෙස ලබාගෙන ඇති අතර, සොරාගත් මුදල් සේලාන්, සම්පත්, නේෂන් ට්‍රස්ට්, පෑන් ඒෂියා යන පෞද්ගලික බැංකුවලට සහ රජයේ බැංකුවක් වන මහජන බැංකුවේ ගිණුම් වෙත වංචනිකව මාරු කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාල අවේක්ෂණ හා බුද්ධි ඒකකය වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර, වංචාවට ලක් වූ මුදල් ප්‍රමාණය සහ ඊට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා බැංකු වාර්තා පරීක්ෂා කිරීමට ද පියවර ගෙන ඇත. විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස මෙහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. අන්තර්ජාල බැංකුකරණයේදී නිල වෙබ් අඩවිය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස ද ආරක්ෂක අංශ මෙහිදී මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














