බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසකට රජයේ චක්‍රලේඛ නියෝග උල්ලංඝනය කරමින් රුපියල් දෙකෝටි හැටතුන් ලක්ෂයකට (රු. 26,300,000) අධික මුදලක් නිල නිවාස දීමනා ලෙස ගෙවා ඇති බව අනාවරණය වේ. රජයේ නිලධාරීන්ට මෙවැනි නිවාස දීමනා ලබා ගැනීමේ නීතිමය ප්‍රතිපාදන නොමැති පසුබිමක, නිල නිවාස ඉදිකරන තෙක් ලබාදෙන තාවකාලික දීමනාවක් ලෙස හඳුන්වමින් 2011 වසරේ සිට 2024 වසර දක්වා වූ දීර්ඝ කාලසීමාවක් තිස්සේ මෙම ගෙවීම් සිදු කර ඇති බව රජයේ විමර්ශන වාර්තා පෙන්වා දෙයි. මෙම අනීතික ගෙවීම් යටතේ හිටපු ප්‍රධාන ලේකම්වරයාට මාසිකව රුපියල් 50,000 බැගින් ද, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට රුපියල් 30,000 බැගින් ද මුදල් ලබා දී ඇති අතර, මහාජන මුදල් අවභාවිත කරමින් සිදු කළ මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.














