පාස්කු ඉරු දින එල්ල වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කඩාකප්පල් කිරීමට හෝ ඒවාට බාධා කිරීමට උත්සාහ නොකරන ලෙස සිරිල් ගාමිණී පියතුමන් අද (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. මිනිස් ජීවිත 300කට අධික සංඛ්‍යාවක් අහිමි කළ මෙම සමූල ඝාතනයේ සත්‍යය සෙවීම රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය කරුණක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
විමර්ශන ආයතන විසින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශව දක්වන අර්ථකථන විවේචනය කළ පියතුමන්, එවැනි ක්‍රියා පිටුපස සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍ර පවතින බව ප්‍රකාශ කළේය. මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලියක් බවත්, එය දේශපාලනීකරණය නොකළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
විමර්ශනවලට බාධා කිරීම යනු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත වූ වින්දිතයන්ට සිදුකරන මහා අපරාධයක් බව පෙන්වා දුන් සිරිල් ගාමිණී පියතුමන්, පටු අරමුණු වෙනුවෙන් කටයුතු නොකර සත්‍යය හෙළි කරගැනීමට ඉවසීමෙන් යුතුව ඉඩ ලබාදෙන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතීද යන්න සහ එහි සැබෑ වගකිවයුත්තන් කවුද යන්න අනාවරණය කර ගැනීම සමස්ත ජාතියේම අපේක්ෂාව බව උන්වහන්සේ අවධාරණය කළහ.
















