කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එළඹි තීරණයකට අනුව, ලබන මාර්තු මස 03 වැනිදා සිට 06 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කරයි. මෙහිදී මාර්තු 03 වැනි අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විදේශ විනිමය පනත යටතේ වන නියමය විවාදයට ගැනීමට නියමිත අතර, එදින සවස විපක්ෂය විසින් ගෙනෙන කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනේ. මාර්තු 04 බදාදා දින පෙරවරු 10.00 සිට අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න ඇසීම සඳහා කාලය වෙන් කර ඇති අතර, ඉන් අනතුරුව ‘ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත’ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇත. මාර්තු 05 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වෙන් වූ විශේෂ කල් තැබීමේ විවාදයකට අවස්ථාව වෙන් කර ඇති අතර, සතියේ අවසන් දිනය වන මාර්තු 06 සිකුරාදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ ආණ්ඩු පක්ෂය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනිමින් සතියේ කටයුතු නිම වීමට නියමිතය.
















