ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත ප්‍රධාන පාසල් විභාගයන්ට අදාළ නිල කාලසටහන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ අත්සනින් නිකුත් වූ මෙම නිවේදනයට අනුව මෙරට ප්‍රධානතම තරඟකාරී විභාගයක් වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු මස 09 වනදා පැවැත්වීමට තීරණය කර ඇත.
මෙම කාලසටහනට අනුව 2026 වර්ෂයේ අනෙකුත් ප්‍රධාන විභාගයන් පැවැත්වෙන දින වකවානු ද ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 2025 වර්ෂයට අදාළ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පෙබරවාරි 17 සිට 26 දක්වා දැනටමත් පැවැත්වෙන අතර, 2026 වර්ෂයට අදාළ අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු 10 වනදා ආරම්භ වී සැප්තැම්බර් 05 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. මීට අමතරව සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය ඔක්තෝබර් 24 වනදා පැවැත්වෙන අතර 2026 වර්ෂයට අදාළ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය දෙසැම්බර් 08 සිට 17 දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.














