“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය යථාර්ථයක් කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන ඊයේ (25) ආරම්භ විය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 125 දෙනෙකු සඳහා නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කෙරිණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ 2026 වසර තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 548ක් ආවරණය වන පරිදි නිවාස 491ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.
මෙම වැඩසටහන යටතේ එක් ප්‍රතිලාභියෙකු සඳහා රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) මූල්‍ය ආධාරයක් ලබා දෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 491ක මුදලක් රජය විසින් වෙන් කර ඇත. වර්ග අඩි 550කට නොඅඩු ස්ථීර නිවසක් ඉදිකිරීම මෙහි ඉලක්කය වන අතර, ඉදිකිරීම් කටයුතු ප්‍රතිලාභීන් විසින්ම සිදු කළ යුතුය. නිවාසවල ප්‍රමිතිය සහ තාක්ෂණික මඟපෙන්වීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තාක්ෂණික නිලධාරීන් විසින් සපයනු ලබයි. මෙම වැඩසටහනේදී කාන්තා මූලික පවුල්, ආබාධිත හෝ නිදන්ගත රෝගීන් සහිත පවුල් සහ පාසල් යන වයසේ දරුවන් වැඩි පිරිසක් සිටින පවුල් සඳහා ප්‍රමුඛතාවය ලබා දීම විශේෂත්වයකි.
සමස්තයක් ලෙස ජාතික නිවාස වැඩසටහන – 2026 යටතේ දිවයින පුරා නිවාස 31,218ක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති අතර, ඉතිරි නිවාස අවශ්‍යතාවය 2027 සිට 2029 දක්වා වසර තුන තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කෙරේ. පුත්තලමේ පැවති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් ගිහාන්, මොහොමඩ් ෆයිසල්, ගයාන් ජනක කුමාර යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික් මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ. මෙම වැඩසටහන හරහා පීඩාවට පත් ජනතාවට ස්ථීර නිවාස හිමිකමක් ලබා දීමෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි රජය විශ්වාස කරයි.














