තායිලන්තයේ බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්ථිර දූත මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 78 වන නිදහස් සංවත්සර සැමරුම පසුගිය 23 වනදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. තායිලන්ත රජය නියෝජනය කරමින් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය සබීඩා තායිසෙඩ් (Sabida Thaised) මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී 1948 වසරේ සිට නිදහස වෙනුවෙන් කැපවූ සියලු ජාතීන්ගේ එකමුතුකමට උපහාර දැක්වූ අතර, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය මූලික කරගත් ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය දක්වන කැපවීම පිළිබඳවද අදහස් ප්‍රකාශ විය. ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශක්තිමත් කිරීම සහ අපනයන වර්ධනය වෙනුවෙන් තායි ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයින්ට මෙරටට පැමිණෙන ලෙස විශේෂ ආරාධනයක් කෙරුණු අතර, විශේෂයෙන්ම එළඹෙන ජුනි මාසයේ පැවැත්වෙන “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” ප්‍රදර්ශනය සඳහා ඔවුන්ට නිල වශයෙන් ඇරයුම් කෙරිණි.
දෙරට අතර පවතින සියවස් ගණනක් පැරණි ආගමික, සංස්කෘතික සහ වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට මෙහිදී සාකච්ඡා වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා නර්තන කණ්ඩායමේ ආකර්ෂණීය රංගනයන්ගෙන් සහ දේශීය ප්‍රණීත ආහාර පානවලින් මෙම උත්සව සභාව හැඩගැන්වී තිබුණි. එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික අභිමානය මෙන්ම සංචාරක ආකර්ෂණය ජාත්‍යන්තරය හමුවේ විදහා දැක්වූ සුවිශේෂී අවස්ථාවක් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ දැක්ම ජාත්‍යන්තරය තුළ තහවුරු කිරීමට මෙම අවස්ථාව මනා පිටුවහලක් වූ බව තානාපති කාර්යාලය පවසයි. මෙම අවස්ථාවට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ බැංකොක්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගී වූහ














