ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ස්වාධීනව ක්‍රියාත්මක කරනු ලබන සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් හරහා පසුගිය මාස හතරක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 07 කට ආසන්න විදේශ විනිමය ආදායමක් උපයා ඇති බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේය. ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අනාවරණය කළේ, 2025 ඔක්තෝබර් 03 වන දින සිට මේ දක්වා සාර්ථකව මෙහෙයුම් 404 ක් සිදු කර ඇති බවයි. මෙම උපයා ගත් සියලුම විදේශ විනිමය සෘජුවම රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට පියවර ගෙන ඇති අතර, නාවික හමුදාව සතු භෞතික හා මානව සම්පත් උපයෝගී කරගනිමින් අවම පිරිවැයකින් මෙම සේවාවන් පවත්වාගෙන යාම මෙහි ඇති විශේෂත්වයයි.
විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් සමඟ ගිවිසුම්ගතව වෙළඳ නෞකා සඳහා ආරක්ෂක කණ්ඩායම් (OBST) සැපයීමේ පහසුකම් මෙහිදී සිදු කෙරේ. විශේෂයෙන්ම නෞකා ආරක්ෂක කණ්ඩායම්වලට අයත් ගිනිඅවි සහ උණ්ඩ නාවික හමුදා අවි ගබඩාවල සුරක්ෂිතව ගබඩා කිරීම, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඒවා ප්‍රවාහනය කිරීම ඇතුළු මෙහෙයුම් කටයුතු මනා සැලසුමකින් යුතුව ක්‍රියාත්මක වන බව කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම නව ක්‍රමවේදය හරහා මැදිහත්කරුවන්ගෙන් තොරව නාවික හමුදාව සෘජුවම මෙහෙයුම් මෙහෙයවීම නිසා මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.














