විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා මහවැලි යොවුන් බලකායේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පුහුණුවලත් තරුණ තරුණියන් 600 කට අධික පිරිසකගේ දායකත්වය ලබා ගැනීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ යොවුන් බලකාය 2026 වසරේදී පිහිටුවීම සහ එමගින් ග්‍රාමීය මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් විධිමත් කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම වැඩපිළිවෙළ යටතේ මහවැලි කලාප කේන්ද්‍ර කරගනිමින් තරුණ ප්‍රජාව දැනුවත් කිරීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමේ ක්‍රියාවලියට මෙම තරුණ පිරිස සෘජුවම සම්බන්ධ කර ගැනීමට නියමිතය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ. හේරත් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටි මෙම සාකච්ඡාවේදී තීරණය වූයේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මෙහෙයුම් සභාවේදී මෙම යෝජනාව පිළිබඳව තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමටයි. තරුණ ජවය මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට එක් කර ගැනීම හරහා වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














