ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council) 60 වන සංවත්සර සැමරුම මෙවර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. දශක හයක කාලයක් පුරා ලෝකවාසී බෞද්ධ ජනතාවගේත්, මහා සංඝරත්නයේත් උන්නතිය උදෙසා කැපවූ මෙම ජාත්‍යන්තර සංවිධානයේ සැමරුම් උළෙල මෙරටදී පැවැත්වීම ශ්‍රී ලංකාවට හිමිවන සුවිශේෂී ගෞරවයකි.
මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ලොව පුරා විවිධ රටවල් නියෝජනය කරමින් මහා සංඝරත්නය සහ බෞද්ධ නායකයින් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය. බුදුදහම ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත කිරීම, විවිධ බෞද්ධ සම්ප්‍රදායන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම සහ ලෝක සාමය උදෙසා බෞද්ධ දර්ශනය උපයෝගී කර ගැනීම වැනි අරමුණු ගණනාවක් මුල් කරගනිමින් මෙම සැමරුම් උළෙල පැවැත්වේ. රජයේ පූර්ණ අනුග්‍රහය මත සංවිධානය වන මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් ලෙස ජාත්‍යන්තරය තුළ පවතින පිළිගැනීම තවදුරටත් තහවුරු වනු ඇත.














