වතු සේවකයින්ගේ දෛනික වැටුප වැඩිකිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් වතු ප්‍රජාව තවදුරටත් සිය සතුට සහ ප්‍රසාදය පළ කරමින් සිටිති. මෙහි විශේෂ අවස්ථාවක් ලෙස හපුතලේ, ග්ලැනෝර් වතු යායේ සේවකයින් එක්ව රජයට කෘතඥතාව පළ කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. එහිදී වතු සේවකයින් කිරිබත් පිළියෙළ කර, ඒවා බෙදාගනිමින් සිය වැටුප් වර්ධකයේ සතුට සැමරූ ආකාරය දැකගත හැකි විය.
දශක ගණනාවක සිට වතු ක්ෂේත්‍රයේ පැවති වැටුප් ගැටලුවට ස්ථාවර විසඳුමක් ලබා දෙමින් රජය ගත් මෙම පියවර, තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට විශාල රුකුලක් වන බව වතු සේවකයෝ මෙහිදී අවධාරණය කළහ. වතු යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම සේවක සුබසාධනය වෙනුවෙන් රජය දක්වන උනන්දුව පිළිබඳව ද ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා ද එක්ව සිටි අතර, වතු ප්‍රජාවගේ ආර්ථික ශක්තිමත්භාවය වෙනුවෙන් රජය අඛණ්ඩව කැපවන බව ඔහු එහිදී සඳහන් කළේය. වතු සේවකයින්ගේ දෛනික වැටුපට අමතරව ඔවුන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ නිවාස පහසුකම් නංවාලීම සඳහා ද ඉදිරියේදී විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.














