ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරට අතර ගුවන් සබඳතා පුළුල් කිරීමේ විශේෂ උපායමාර්ගික වැඩපිළිවෙළක් ශ්‍රී ලංකන් ගුවන් සේවය (SriLankan Airlines) විසින් ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ප්‍රකාශයට පත් කරන ලදී. දකුණු ආසියාවේ ප්‍රමුඛතම සංචාරක ප්‍රදර්ශනයක් වන SATTE 2026 ට සමගාමීව පැවැති මාධ්‍ය හමුවකදී මෙම නව සැලසුම් එළිදැක්වුණු අතර, එහිදී ඉන්දියානු සංචාරකයින් සඳහා නව ගමනාන්ත හඳුන්වා දීමට ද පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශාලතම වෙළඳපොළ වන ඉන්දියාව, සමස්ත මගී ගමනාගමනයෙන් 30% ක් සහ මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 23% ක් නියෝජනය කරයි. දැනට චෙන්නායි, මුම්බායි, දිල්ලි, බැංගලෝර් ඇතුළු නගර නවයක් වෙත සතිපතා ගුවන් වාර 90 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන අතර, 2026 වසරේදී එම ජාලයට එක්වන 10 වැනි ඉන්දියානු නගරය ලෙස අහමදාබාද් (Ahmedabad) හඳුන්වා දීමට නියමිතය. මෙමගින් ඉන්දියානු මගී ගමනාගමනය මේ වසරේදී 12% කින් පමණ ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට අමතරව, මැදපෙරදිග, මාලදිවයින, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව බලා යන ඉන්දියානු මගීන්ගෙන් 30% ක් පමණ කොළඹ හරහා ගමන් කරන බැවින්, කොළඹ ගුවන් තොටුපළ ප්‍රධාන සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම ගුවන් සේවයේ අරමුණයි. මීට අමතරව, ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා “රාමායණ චාරිකාව” (Ramayana Trail) වැනි සාර්ථක ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකාව සූපවේදය, වනජීවී, සහ ආධ්‍යාත්මික සංචාරක ගමනාන්තයක් ලෙස ඉන්දියාව තුළ ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය අඛණ්ඩව කටයුතු කරයි.














