ලංකා IOC සමාගම (Lanka IOC PLC) විසින් සිය ඉන්ධන පිරවුම්හල් නියෝජිතයන් සඳහා ලබාදෙන කොමිස් මුදල් ලබන මාර්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. සමාගම සතු ඉන්ධන පිරවුම්හල් සහ බලයලත් නියෝජිත (Franchisee) පිරවුම්හල් සඳහා වන මෙම නව ගාස්තු සංශෝධනයට අදාළ බලධාරීන්ගේ අනුමැතිය හිමිව ඇති බව නිල නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරයි.
නව සංශෝධනයට අනුව, සමාගම සතු පිරවුම්හල් සඳහා සිල්ලර විකුණුම් මිලෙන් 2.75% ක කොමිස් මුදලක් හිමිවන අතර, බලයලත් නියෝජිතයන් විසින් පවත්වාගෙන යනු ලබන පිරවුම්හල් සඳහා සිල්ලර විකුණුම් මිලෙන් 3.00% ක කොමිස් මුදලක් හිමිවනු ඇත. මෙම නව කොමිස් අනුපාතයන් මාර්තු 01 වැනිදා සිට මාස හයක කාලයක් සඳහා ස්ථාවරව පවතින බවත්, ඉන් අනතුරුව වෙළඳපොළ තත්ත්වයන් සහ සමාගම් ප්‍රතිපත්ති මත පදනම්ව ඒවා යළි සමාලෝචනය කරන බවත් ලංකා IOC සමාගම වැඩිදුරටත් කියා සිටියි.
කෙසේ වෙතත්, මෙම මාස හයක කාලය ඇතුළත ඉන්ධන සිල්ලර විකුණුම් මිල ඉහළ දැමීමක් සිදු වුවහොත්, ඊට සාපේක්ෂව නියෝජිත කොමිස් මුදල ද නිසි පරිදි සංශෝධනය කිරීමට පියවර ගන්නා බව එම සමාගම නිවේදනය කරයි. මෙම පියවර හරහා පිරවුම්හල් හිමියන්ගේ මෙහෙයුම් පිරිවැය කළමනාකරණය කර ගැනීමට සහ සේවාව වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සහායක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














