දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් ඊයේ (27) රාත්‍රියේ සිදුකර තිබේ. කහතුඩුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් පැය හතරකට ආසන්න කාලයක් පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරමින්, අධිවේගී මාර්ගයෙන් කහතුඩුව පිවිසුම හරහා පිටවෙන සියලුම රථ වාහන හා පුද්ගලයන් පරීක්ෂාවට ලක් කළහ. බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ නියෝග මත මෙම විශේෂ මෙහෙයුම සංවිධානය කෙරිණි.
මෙම මෙහෙයුම සඳහා මත්ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය සෙවීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් නිල සුනඛයන් දෙදෙනෙකුද යොදාගෙන ඇති අතර, කහතුඩුව පොලිසිය සමග පොලිස් විශේෂ කාර්ය බළකා (STF) නිලධාරීන්ද එක්ව සිටි බව වාර්තා වේ.














