මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගුවන් සීමාවන් වසා දැමීමත් සමඟ, ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවන ගුවන් ගමන් පහසු කිරීම සඳහා විශේෂ මෙහෙයුම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) පියවර ගෙන තිබේ. මෙම හදිසි ක්‍රියාකාරී සැලැස්ම යටතේ අදාළ ගුවන් සේවා සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන අතර, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් යානා වෙනතකට යොමු කිරීමේදී (diversions) භාවිත කිරීමට සූදානම් කර ඇත.
මේ අතර, ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ ෆිට්ස්එයාර් (FitsAir) සමාගම පීඩාවට පත් රටවලට සහ වසා දමා ඇති ගුවන් සීමාවන් හරහා ගමන් කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. ගුවන් මගීන්ට තම ගුවන් ගමන්වල නවතම තොරතුරු ලබා ගැනීමට ගුවන් සමාගම් සමඟ සම්බන්ධ වන ලෙස උපදෙස් දී තිබේ.














