අතීත මුතුන් මිත්තන්ගේ වත්පිළිවෙත් වත්මන් පරපුරට දායාද කිරීමේ අරමුණින් කෑගල්ලේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා කිලෝමීටර් 117ක දුරක් ගෙවා යන විශේෂ පාද චාරිකාවක් ‘සිරිපා වන්දනා පාද චාරිකා සංස්කෘතික පදනම’ මගින් 12 වන වරටත් සංවිධානය කර තිබේ.
ප්‍රවීණ රංගන ශිල්පී හේමන්ද්‍ර පියදාස මහතාගේ නඩේගුරා පදවියෙන් සහ රංගන ශිල්පී කුලශ්‍රී මල්ලිආරච්චි මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම චාරිකාව සඳහා අවුරුදු 70-80 සීමාවේ පසුවන වැඩිහිටි බැතිමතුන් 30 දෙනෙකු එක්ව සිටීම විශේෂත්වයකි. පසුගිය 26 වනදා අලුයම කෑගල්ල උඩුගම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළ මෙම නඩය මේ වන විට රුවන්වැල්ල, කිතුල්ගල හරහා ලක්ෂපාන ප්‍රදේශය පසු කරමින් සිටිති.
පැරණි ඇඳුම් පැළඳුම්වලින් සැරසී, තුන්සරණේ කවි ගායනා කරමින් ඇදෙන මෙම වන්දනා නඩය එළඹෙන මැදින් පුර පසලොස්වක පොහෝ දින ශ්‍රී පාද උඩමළුව කරුණා කිරීමට නියමිතය. මාර්ගය දෙපස ජනතාවගේ දැඩි සහයෝගය සහ ආගන්තුක සත්කාර මධ්‍යයේ සිදුවන මෙම පා ගමන ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නකි.














