මැදපෙරදිග කලාපය දැඩි යුදමය උණුසුමකට ඇද දමමින් ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවකින් ඇමරිකානු නාවික සහ ගුවන් හමුදා කඳවුරු පහක් ඉලක්ක කර ඇති බව තහවුරු වේ. අද (28) උදෑසන ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු නගර කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් ලෙස ඉරානය මෙම ප්‍රහාර එල්ල කර තිබේ. කටාර් රාජ්‍යයේ අල්-උඩෙයිඩ් (Al-Udeid), කුවේට්හි අල්-සල්මියා (Al-Salmiya), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්-සෆ්රා (Al-Zafra), බහරේනයේ පිහිටි ඇමරිකානු පස්වන නාවික කඳවුර සහ ජෝර්දානයේ කිං හුසේන් (King Hussein) යන ප්‍රධාන හමුදා කඳවුරු මෙහිදී ඉරාන මිසයිල ප්‍රහාරයන්ට ලක්ව ඇති බව ටෙහෙරාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම මිසයිල ප්‍රහාරත් සමඟ කුවේටය, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ගුවන් අනතුරු ඇඟවීමේ සංඥා අඛණ්ඩව නාද වෙමින් පවතින බව අරාබි මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව තෙල් අවිව් (Tel Aviv), අල්-කුඩ්ස් (al-Quds) සහ බීර් ෂෙබා (Be’er Sheva) යන ප්‍රදේශවල ද ප්‍රබල පිපිරීම් සිදුව ඇති අතර, සෞදි අරාබියට සහ ඩුබායි නගරයට ද ප්‍රහාර එල්ල වී ඇති බවට තහවුරු නොකළ වාර්තා පළ වේ. න්‍යෂ්ටික සාකච්ඡා වට කිහිපයක් අවසන් කර ඉදිරි සාකච්ඡා සඳහා සූදානම්ව සිටි පසුබිමක එල්ල වූ මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් කලාපීය මට්ටමේ මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














