‘දිට්වා’ සුළි කුණාටුවත් සමඟ ඇති වූ නායයෑම්වලින් අවතැන් වූ කොත්මලේ, රම්බොඩ වැවන්ඩන් වතුයායේ පවුල් 25ක් මාස තුනක් ගතවී ඇතත් තවමත් තාවකාලික කූඩාරම් තුළ දැඩි දුෂ්කරතා විඳිමින් සිටිති. තම නිවාස අහිමි වීමෙන් පසු මුලින් පොදු ස්ථාන සහ කෝවිල්වල ලැගුම් ගෙන සිටි මෙම පිරිස, රජය විසින් ලබා දුන් තාවකාලික රෙදි කූඩාරම් තුළ දැනට පදිංචිව සිටින නමුත් පවතින අයහපත් කාලගුණය හමුවේ ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ.
අධික වර්ෂාව පවතින අවස්ථාවලදී කූඩාරම් තුළට ජලය ගලා ඒම සහ තද සුළඟට ඒවා විනාශ වීමේ අවදානම හේතුවෙන් මෙම ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. තමන්ට ස්ථිර නිවාස ලබා දෙන බවට බලධාරීන් දුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නොමැති බව පවසන වැවන්ඩන් වතුයායේ ජනතාව, ඉදිරි වර්ෂා කාලයට පෙර තමන්ව ආරක්ෂිත ස්ථානයක පදිංචි කරවන ලෙස බලධාරීන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිති.
වතු කම්කරු ප්‍රජාව මෙලෙස මාස ගණනාවක් කූඩාරම් තුළ සිරවී සිටීම මානුෂීය වශයෙන් ද බරපතළ ගැටලුවක් වන අතර, ඔවුන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල කඩිනම් අවධානය යොමු විය යුතුව ඇත.














