ඊශ්‍රායලයේ ‘රෝරිං ලයන්’ (Operation Roaring Lion) සහ ඇමරිකාවේ ‘එපික් ෆියුරි’ (Operation Epic Fury) යන ඒකාබද්ධ මෙහෙයුම් යටතේ ඉරානයේ ටෙහෙරාන්, ඉස්ෆහ්න් සහ ෂිරාස් යන නගරවල පිහිටි හමුදා සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් දැවැන්ත ගුවන් සහ නාවික ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. මෙම ප්‍රහාර සඳහා ඇමරිකානු නාවික හමුදාව සතු කිලෝමීටර් 1,600කට වඩා දුර විහිදෙන ‘ටොමහෝක්’ (Tomahawk) කෲස් මිසයිල, රේඩාර් පද්ධතිවලට හසුනොවන ස්ටෙල්ත් (Stealth) යානා සහ භූගත බන්කර් විනාශ කළ හැකි ‘බන්කර් බස්ටර්’ (Bunker-Busters) බෝම්බ ඇතුළු ලොව දියුණුම අවි පද්ධති භාවිතා කර ඇති බව වාර්තා වේ.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ කලාපීය බලපෑම පාලනය කිරීම අරමුණු කරගනිමින් දියත් කළ මෙම පූර්ව භංග ප්‍රහාරයට (Preemptive Strike) ප්‍රතිචාර ලෙස ඉරානය ද සිය බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා මගින් ඊශ්‍රායලයට සහ බහරේනය, කුවේටය, කටාර් යන රටවල පිහිටි ඇමරිකානු කඳවුරු වෙත ප්‍රහාර එල්ල කර ඇත. මේ හේතුවෙන් යුද්ධය දෙරටකට පමණක් සීමා නොවී සමස්ත කලාපයම වෙළාගත් මහා පරිමාණ ගැටුමක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ආරක්ෂක විශ්ලේෂක ෂිව් ආරූර් වාර්තා කරයි. පවතින උග්‍ර යුද අවදානම හමුවේ ඊශ්‍රායලයේ සිටින සිය කාර්ය මණ්ඩලයට වහාම එරටින් පිටවන ලෙස ඇමරිකානු තානාපතිවරයා ද දැනුම් දී තිබේ.














