ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුරේ භයානකම පැතිකඩක් අනාවරණය කරමින්, පසුගිය කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 18ට අඩු දරුවන් 2,200කට අධික සංඛ්‍යාවක් සිටින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙළිදරව් කරයි.
හෙට (01) සිට ආරම්භ වන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් අද (28) පැවති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය වූ අතර, එහිදී අවධාරණය කෙරුණේ ජාවාරම්කරුවන් විසින් පාසල් සිසුන් ඉතා සූක්ෂ්ම ලෙස මෙම ජාලයන්ට සම්බන්ධ කරගනිමින් සිටින බවයි. විශේෂයෙන්ම නගරබද ජාත්‍යන්තර පාසල්වල සිසුන් ‘අයිස්’ (Crystal Meth) වැනි විෂ මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමේ දැඩි ප්‍රවණතාවයක් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ අශෝක ධර්මසේන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය හමුවේ දෙමාපියන් සහ ගුරුවරුන් වෙනදාට වඩා අවධානයෙන් පසුවිය යුතු අතර, දරුවන්ගේ ඇසුර සහ හැසිරීම් පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් සිටීම අත්‍යවශ්‍ය වේ. ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ඉදිරි සතිය පුරා දිවයින පුරා පාසල් කේන්ද්‍ර කරගනිමින් විශේෂ නිවාරණ වැඩසටහන් දියත් කිරීමට ද ආරක්ෂක අංශ සැලසුම් කර ඇත.














