ඉරාන අගනුවර වන ටෙහෙරාන් නුවර උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාලය පිහිටි ආරක්ෂිත කලාපය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය අද (28) පෙරවරුවේ ප්‍රබල පූර්ව භංග ප්‍රහාරයක් (Preemptive Strike) එල්ල කර තිබේ. ජනාධිපති මන්දිරය සහ ජාතික ආරක්ෂක කවුන්සිලය පිහිටි මෙම අතිශය සංවේදී කලාපයෙන් විශාල දුම් පටල නැඟෙන අයුරු ප්‍රදේශවාසීන් දැක ඇති අතර, අවම වශයෙන් ප්‍රහාර 3ක් හෝ 4ක් එල්ල වූ හඬ ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත්, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ 86 හැවිරිදි උත්තරීතර නායකයා ටෙහෙරාන් නුවරින් බැහැරව ආරක්ෂිත ස්ථානයකට යොමු කර ඇති බව රොයිටර් පුවත් සේවය තහවුරු කරයි.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් (Israel Katz) ප්‍රකාශ කර ඇත්තේ තම රටට එල්ල වන තර්ජන ඉවත් කිරීම සඳහා මෙම ප්‍රහාරය දියත් කළ බවයි. මෙම යුදමය තත්ත්වය වර්ධනය වූයේ ඉරානයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව ලබා දුන් දින 15ක සහන කාලය තුළ එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙනි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පවතින තත්ත්වය පිළිබඳව තම අසතුට පළ කර ඇති අතර, ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ හැකියාව ද ඇතුළුව හමුදා බලය භාවිතා කිරීමේ විකල්පය තවමත් විවෘතව පවතින බව අවධාරණය කර තිබේ.














