ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ලද ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) හමුදා මෙහෙයුමත් සමඟ ඉරානය පුරා අන්තර්ජාල සබඳතා සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී ඇති බව ගෝලීය අන්තර්ජාල නිරීක්ෂණ ආයතනයක් වන ‘නෙට්බ්ලොක්ස්’ (NetBlocks) තහවුරු කරයි. ඉරානය පුරා අන්තර්ජාල ප්‍රවේශය සාමාන්‍ය මට්ටමට වඩා 4% දක්වා පහත වැටී ඇති අතර, මෙය රට පුරා සිදුවූ ‘සම්පූර්ණ අන්තර්ජාල විසන්ධි වීමක්’ (Total Internet Blackout) ලෙස වාර්තා වේ. හමුදා ප්‍රහාරවලට සමගාමීව එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාර මාලාව මෙම සන්නිවේදන බිඳ වැටීමට ප්‍රධාන හේතුව වී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉරානයේ නිල රාජ්‍ය පුවත් ඒජන්සිය වන IRNA ඇතුළු රජයේ ප්‍රධාන වෙබ් අඩවි රැසක් ද මෙම සයිබර් ප්‍රහාරයන්ගේ ඉලක්ක බවට පත්ව ඇති අතර, එම පද්ධති මේ වන විට ක්‍රියාවිරහිත වී තිබේ. යුදමය තත්ත්වය වාර්තා වීම පාලනය කිරීම සඳහා ඉරාන රජය විසින්ම ඇතැම් සන්නිවේදන ජාල අත්හිටුවීමට පියවර ගෙන ඇති බවට ද වාර්තා පළ වේ. ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක ස්ථාවර සහ ජංගම දුරකථන ජාල පවා අඩාල වී ඇති අතර, මේ හේතුවෙන් ඉරානය තුළ සිදුවන විනාශයන් පිළිබඳ නිශ්චිත තොරතුරු ලබාගැනීමට ජාත්‍යන්තර මාධ්‍ය ආයතන දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටියි.














