අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (28) අරලියගහ මන්දිරයේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හමු වූ අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළාය. එහිදී ඇය අවධාරණය කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හෝ ඔවුන්ගේ නිදහස සීමා කිරීමට රජය කිසිසේත් කටයුතු නොකරන බවයි. කෙසේ වෙතත්, ශිෂ්‍ය ක්‍රියාකාරකම් මුවාවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන විවිධ හිංසන ක්‍රියා සහ නවක වදය මුළුමනින්ම නතර කිරීම සඳහා ශිෂ්‍ය සංගම්වල අවංක මැදිහත්වීම සහ සහයෝගය අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය.
එමෙන්ම වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ශිෂ්‍යයන්ගේ අදහස් ලබාගැනීමට එකඟ වූ අග්‍රාමාත්‍යවරිය, වයඹ, සබරගමුව සහ මොරටුව වැනි වෛද්‍ය පීඨවල පවතින නේවාසිකාගාර සහ ගොඩනැගිලි ගැටලු විසඳීමට කඩිනමින් ප්‍රතිපාදන වෙන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. මීට අමතරව සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ නේවාසික පහසුකම් පුළුල් කිරීම සඳහා තවත් රෝහල් පහක් අනුමත කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා පියවර ගන්නා බවද මෙහිදී අනාවරණය විය.














