ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) මහතා ටෙහෙරාන් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ILNA පුවත් සේවය උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරයි. මියයන විට 69 වන වියේ පසු වූ අහමදිනෙජාඩ් මහතා, නැගෙනහිර ටෙහෙරාන්හි පිහිටි ඔහුගේ නිවසේ රැඳී සිටියදී ඔහුගේ ආරක්ෂක නිලධාරියා ද සමඟ මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වේ. 2005 වසරේ සිට 2013 දක්වා වසර අටක කාලයක් ඔහු ඉරානයේ ජනාධිපති ධුරය හොබවන ලදී.
තම පාලන කාලය ආරම්භයේදී ෂියා පූජක පක්ෂයේ සහ දැඩි මතධාරී දේශපාලන කණ්ඩායම්වල ප්‍රසාදය දිනා ගැනීමට ඔහු සමත් වුවද, පාලන කාලය අවසන් වන විට ඔහුගේ ප්‍රතිපත්ති පිළිබඳව විවිධ සැක සංකා මතු විය. විශේෂයෙන්ම ඔහු අනුගමනය කළ න්‍යාෂ්ටික ප්‍රතිපත්තිය හේතුවෙන් ඉරානයට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක රැසක් පැනවූ අතර, එය එරට දැඩි ආර්ථික අර්බුදයකට ඇද දැමීමට හේතු විය. එසේම යුදෙව් විරෝධී ප්‍රකාශ සහ හොලොකෝස්ටය (Holocaust) ප්‍රතික්ෂේප කිරීම වැනි කරුණු නිසා ඔහු ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට ලක් වූ නායකයෙකි.
ඔහුගේ පාලන සමය තුළ ඊශ්‍රායලයට එරෙහිව එල්ල කළ හමුදාමය තර්ජන හේතුවෙන් ඉරානය ජාත්‍යන්තර වශයෙන් හුදකලා වීමට ද මග පෑදිණි. සිය ධුර කාලය අවසාන වන විට ඔහුගේ දැඩි හිතවාදීන් පවා ඔහුගෙන් ඈත් වූ අතර, ඔහු ඉරාන දේශපාලන ඉතිහාසය තුළ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සනිටුහන් විය. වත්මන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු ඇති වූ මෙම නොසන්සුන් වාතාවරණය මධ්‍යයේ හිටපු ජනාධිපතිවරයාගේ මරණය ඉරාන දේශපාලනය තවදුරටත් අස්ථාවර කිරීමට හේතු වනු ඇතැයි විචාරකයෝ පවසති.














