අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුදමය ආතතීන් හමුවේ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. සිය නිල එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ සෑම මහා බල ගැටුමකම සෘජු බලපෑම සහ උණුසුම ශ්‍රී ලංකාව වැනි කුඩා ජාතීන්ට දැඩිව දැනෙන බවයි. විශේෂයෙන්ම වෙළඳාම, බලශක්තිය සහ සැපයුම් ජාලයන්ට එල්ල වන බාධා හමුවේ සාමාන්‍ය ජනතාවගේ ජීවනෝපායන් සහ අත්‍යවශ්‍ය සේවාවන් අවදානමට ලක්විය හැකි බව ඔහු සඳහන් කරයි.
මෙම ගෝලීය අවදානම් තත්ත්වය ශ්‍රී ලංකා රජය කල්තියා අපේක්ෂා කළ යුතු බවත්, හදිසි සැලසුම් ශක්තිමත් කරමින් බලපෑමට ලක්විය හැකි අංශවලට සහාය විය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි. බලපෑමට ලක් වූ මැදපෙරදිග කලාපවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පවසන ඔහු, දේශීය හා විදේශීය වශයෙන් අපගේ ජනතාව ආරක්ෂා කිරීම සැමවිටම ප්‍රමුඛතාවය විය යුතු බව ද පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව තම රටේ පැවැති ගැටුම්කාරී අවස්ථාවලදී පවා කල් පවතින සාමය උදෙසා සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය තෝරා ගත් බව නාමල් රාජපක්ෂ මහතා සිහිපත් කරයි. ලෝකයට සැලකිලිමත් විය යුතු අවස්ථාව තෝරා ගත නොහැකි වුවද, විභව ප්‍රතිවිපාක සඳහා සූදානම් වීම, සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම කලාපීය ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා ඇති වඩාත් ඵලදායී මාර්ගය බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.















