විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයකින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව අද (01) සමත් විය. කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කොදෙව් කණ්ඩායම ලකුණු 194ක් රැස්කරමින් ඉන්දියාවට ලකුණු 195ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නේය. කෙසේ වෙතත්, ඉන්දීය පිතිකරුවන් ඉතා දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ ලකුණු 199ක් රැස්කරමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.
මෙම ජයග්‍රහණයේ නියමුවා වූ සංජු සැම්සන් අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 50කදී නොදැවී ලකුණු 97ක් රැස් කළේය. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වූ අතර, ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා ඔසවා තැබීමට එම ඉනිම ප්‍රබල පිටුවහලක් විය. කොදෙව් පන්දු යවන්නන්ට එරෙහිව පීඩනය පවත්වා ගනිමින් අවසන් මොහොත දක්වාම කඩුල්ලේ රැඳී සිටි සැම්සන්ගේ දක්ෂතාව ක්‍රිකට් විචාරකයන්ගේ ද පැසසුමට ලක්ව තිබේ.
අද ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව එළැඹෙන 5 වැනිදා මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගයට සුදුසුකම් ලැබීය. එහිදී ඔවුන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය. මැදපෙරදිග පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ වුවද, ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය මෙම තීරණාත්මක ක්‍රිකට් තරගාවලිය දෙසට යොමුව පවතී.















