ඉරානයට එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරත් සමඟ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලොව ප්‍රමුඛතම නැව් සමාගම් රැසක් සිය නෞකා ගමන් මාර්ග වෙනස් කිරීමට පියවර ගෙන තිබේ. Maersk, Hapag-Lloyd සහ CMA CGM යන දැවැන්ත සමාගම් සිය නෞකා සූවස් ඇළ සහ බබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියෙන් ඉවතට හරවා, අප්‍රිකාව වටා වූ ‘කේප් ඔෆ් ගුඩ් හෝප්’ (Cape of Good Hope) මාර්ගය ඔස්සේ යාත්‍රා කරවීමට තීරණය කර ඇත.
ඩෙන්මාර්කයේ Maersk සමාගම නිවේදනය කරන්නේ කලාපයේ උත්සන්න වී ඇති මිලිටරි ගැටුම් හේතුවෙන් නාවිකයින්ගේ සහ නෞකාවල ආරක්ෂාව වෙනුවෙන් මෙම තාවකාලික තීරණය ගත් බවයි. මීට පෙර හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ වසර දෙකක් පුරා පැවති බාධාවන්ගෙන් පසු යන්තම් යථා තත්ත්වයට පත්වෙමින් තිබූ සූවස් ඇළ මාර්ගයේ මෙහෙයුම්, මෙම නව අර්බුදයත් සමඟ යළිත් අඩාල වී තිබේ. ජර්මානු Hapag-Lloyd සමාගම ද තහවුරු කර ඇත්තේ ඉන්දියාව සහ මැදපෙරදිග සම්බන්ධ කරන තම බහාලුම් සේවාවන් දකුණු අප්‍රිකාව වටා හරවා යවන බවයි. මෙම ගමන් මාර්ග වෙනස් වීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන කාලය සහ පිරිවැය ඉහළ යා හැකි අතර, එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය සහ කටාර් වැනි රටවල වෙළෙඳ කටයුතුවලට ද සෘජුව බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.














