මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය අතිශය තීරණාත්මක මට්ටමකට අවතීර්ණ වෙමින්, ලෙබනනයේ නගර 50කට අධික ප්‍රමාණයක වෙසෙන ජනතාවට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම් දී තිබේ. ඊශ්‍රායල ආරක්ෂක අංශ අවධාරණය කර ඇත්තේ අදාළ ඉලක්කගත නගරවලින් අවම වශයෙන් මීටර් 1,000කවත් දුරක් පවත්වා ගන්නා ලෙසයි.
ඉරාන උත්තරීතර නායක කමේනි ඝාතනයට සහ ඉරානයට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය දෙසට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දියත් කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත විය. මීට පෙර බීරූට් නුවර දකුණු තදාසන්න ප්‍රදේශවලට ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කළ ඊශ්‍රායලය, සිය ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම සතුරෙකුට දැඩි වන්දි ගෙවීමට සිදුවන බවට යළිත් අනතුරු ඇඟවීමක් කර තිබේ. මෙම ඉවත් වීමේ නියෝගයත් සමඟ ඉදිරි පැය කිහිපය තුළ ලෙබනනය තුළ මහා පරිමාණයේ ගුවන් මෙහෙයුම් දියත් වීමේ අවදානමක් මතුව ඇත.















