කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන අලුත්වත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ප්‍රාදේශීය සභා 06ක් සහ වත්තේගම නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 07කින් දෛනිකව දිරන කසළ ටොන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් බැහැර කරනු ලබයි. මෙම දිරන කසළ යොදාගනිමින් මසකට කොම්පෝස්ට් ටොන් 150ත් 200ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ.
“Clean ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ දිවයින පුරා ඉදිකෙරෙන ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන 58න් එකක් ලෙස අලුත්වත්ත මධ්‍යස්ථානයට රුපියල් මිලියන 80කට වැඩි වටිනාකමකින් යුත් නව ඒකකයක් හිමි විය. මෙහි සංවර්ධන කටයුතු පිළිබඳව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ නොදිරන කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා අලෙවි කිරීම මෙන්ම ගොඩනැගිලි වහල මත සූර්ය පැනල සවිකර පුනර්ජනනීය විදුලිය උත්පාදනය කිරීම ද සිදු කෙරේ. කසළ කළමනාකරණය සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 900ක් වෙන් කර ඇති අතර, 2027 වසරේදී එය රුපියල් මිලියන 1,000 දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.
ඉදිරි වසර 03 තුළ බිම් පිරවුම් (Landfills) වෙත යොමුවන අපද්‍රව්‍ය ප්‍රමාණය 30% කින් අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
















