ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට දරන උත්සාහය ජාත්‍යන්තර නීති හා සම්ප්‍රදායන්ට පටහැනි බව පෙන්වා දෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, බලහත්කාරයෙන් ආණ්ඩු වෙනස් කිරීමේ මෙම ක්‍රමවේදය කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසයි. ස්විට්සර්ලන්තය හා නෝර්වේ වැනි රටවල් ද මෙම මතයේ පසුවන බව සිහිපත් කරන ඒ මහතා, ලෝක බලවතුන් තමන්ට රුචි පරිදි ලෝකය හැසිරවීමට යාම ශ්‍රී ලංකාව වැනි රටවලට අහිතකර බලපෑම් එල්ල කරන ගැඹුරු ගැටලුවක් බව අවධාරණය කළේය. ඉරානයේ තෙල් සැපයුම අඩපණ වීමෙන් සෘජු ඉන්ධන හිඟයක් ඇති නොවූවත්, ඉරානය විසින් නාවික ප්‍රවාහන මාර්ගවලට ප්‍රහාර එල්ල කරමින් නැව් ගමනාගමනය අඩපණ කළහොත් එය ශ්‍රී ලංකාවට බරපතල ආර්ථික ප්‍රශ්නයක් විය හැකි බවට ද ඔහු මෙහිදී අනතුරු ඇඟවීය.














