ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩීසැන්ටිස් (Ron DeSantis) විසින් පවත්වාගෙන යනු ලබන, ‘Alligator Alcatraz’ ලෙස හඳුන්වන ආන්දෝලනාත්මක සංක්‍රමණික බන්ධනාගාරය සඳහා දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 1.2ක බදු මුදලක් වැය කර ඇති බව අධිකරණ වාර්තා මගින් හෙළි වී තිබේ. ‘Florida Tributary’ පුවත් අඩවිය අනාවරණය කරන්නේ, ට්‍රම්ප් පරිපාලනය විසින් පොරොන්දු වූ ඩොලර් මිලියන 608ක ප්‍රතිපූරණ මුදල (Reimbursement) ලබාදීම ෆෙඩරල් රජය විසින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් මතුව ඇති බවයි. මේ හේතුවෙන් එම දැවැන්ත මූල්‍ය බර සම්පූර්ණයෙන්ම ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බදු ගෙවන්නන් මත පැටවීමට ඉඩ ඇත.
එවර්ග්ලේඩ්ස් (Everglades) වගුරු බිම් කලාපයේ ඉදිකර ඇති මෙම බන්ධනාගාරය සහ පිටුවහල් කිරීමේ මධ්‍යස්ථානය සඳහා වැයවන මුදල ෆෙඩරල් රජයෙන් ලැබෙනු ඇතැයි ආණ්ඩුකාරවරයා මීට පෙර දැඩි විශ්වාසයකින් ප්‍රකාශ කර තිබුණි. එහෙත්, ෆෙඩරල් හදිසි කළමනාකරණ නියෝජිතායතනයේ (FEMA) රීති අනුව මෙවැනි ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන වෙන් කළ නොහැකි බව අධිකරණයේදී අනාවරණය වී තිබේ. දේශපාලන හිතවතුන්ට ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව රහසිගත කොන්ත්‍රාත්තු ලබා දීම ඇතුළු දූෂණ චෝදනා රැසක් ද මෙම ව්‍යාපෘතියට එල්ල වී ඇත.
පරිසරවේදීන් සහ සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් පවසන්නේ මෙම බන්ධනාගාරය රහසිගතව සැලසුම් කර ඉදිකිරීම මගින් පරිසර නීති සහ දේශීය ගෝත්‍රික ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කර ඇති බවයි. ‘Friends of the Everglades’ සංවිධානය අවධාරණය කරන්නේ මෙම මධ්‍යස්ථානය ස්ථිරවම වසා දමන තෙක් තම නීතිමය සටන අත්නොහරින බවයි. ඩීසැන්ටිස් පරිපාලනය විසින් ෆ්ලොරිඩාව “පොලිස් රාජ්‍යයක්” බවට පත්කිරීමේ උත්සාහයක නිරත වන බවට ද විවේචකයෝ චෝදනා කරති.














