ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට ගෙන ඇති තීරණය ලෝකයේ ප්‍රබලතම මාධ්‍ය ආයතනවල දැඩි විවේචනයට සහ විමර්ශනයට ලක්ව තිබේ. විශේෂයෙන්ම මාර්තු 02 වනදා සිට ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානය යුද්ධයට අවතීර්ණ වීමත්, සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල වීමත් සමඟ මෙම ගැටුම සමස්ත බටහිර ආසියාව පුරාම ව්‍යාප්ත වී ඇති බව අද (මාර්තු 03) වාර්තා වේ.
ඇමෙරිකාවේ ‘The New York Times’ පුවත්පත වාර්තා කරන්නේ, ට්‍රම්ප් ජනාධිපතිවරයා යුද්ධය සඳහා යොමු වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙටන්යාහුගේ දැඩි බලපෑම හේතු වූ බවයි. රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා නවතා හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට නෙටන්යාහු කළ බලපෑම හමුවේ ට්‍රම්ප්ගේ උපදේශකයන් කිසිවෙකුත් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර නොමැති බව එම පුවත්පත පෙන්වා දෙයි. ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් පරස්පර විරෝධී බව පවසන ඔවුන්, ඔහු වරෙක සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට උත්සාහ කරමින් තවත් වරෙක ඉරාන රජය පෙරළා දැමීමට උත්සාහ කරන බවත්, ඉරානයෙන් එල්ල වන තර්ජනය පිළිබඳව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් ඇමෙරිකානු ජනතාව යුද්ධයට පොළඹවන බවටත් චෝදනා කරයි.
මේ අතර ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මෙය ඉරාක යුද්ධය වැනි තත්ත්වයක් නොවන බව පැවසුවද, ජනාධිපති ට්‍රම්ප් ඉරානයට ගොඩබිම් හමුදා (Boots on the ground) යැවීමට සූදානම් වන බවට පළවන තොරතුරු ද මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. යුද මෙහෙයුම් තවදුරටත් උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොළ සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ද ගෝලීය මාධ්‍ය දැඩි බියක් පළ කර සිටියි.














