ඉරානයට එරෙහිව ඇමෙරිකාව දියත් කර ඇති දැවැන්ත හමුදා මෙහෙයුම ආරම්භ වී දින තුනක් ගතවුවද, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැබෑ යුද අරමුණු සහ ඉරානයේ අනාගතය පිළිබඳ සැලසුම් තවමත් අපැහැදිලි මට්ටමක පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මුලින්ම රජය ප්‍රකාශ කළේ මෙහෙයුමේ අරමුණ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීම බවයි. එහෙත් ඊයේ (මාර්තු 02) ධවල මන්දිරයේ සිට අදහස් දැක්වූ ට්‍රම්ප් පැවසුවේ ඉරානයේ බැලස්ටික් මිසයිල හැකියාව, ඔවුන්ගේ නාවික හමුදාව සහ කලාපීය සටහන්කාමී කණ්ඩායම්වලට (Proxy groups) දක්වන සහය විනාශ කිරීම තම ඉලක්කය බවයි.
සෙනසුරාදා දින ඉරාන වැසියන්ගෙන් “තම රජය නැවත අත්පත් කරගන්නා ලෙස” (Take back your government) ඉල්ලා සිටි ට්‍රම්ප්, ඉන් ව්‍යංගයෙන් අදහස් කළේ ඉරාන පාලනය පෙරළා දැමීම (Regime change) බව බොහෝ දෙනා විශ්වාස කළහ. එහෙත් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසන්නේ මෙය රජයන් පෙරළීමේ යුද්ධයක් නොවන බවයි.
අයතුල්ලා කිමේනි ඇතුළු ඉරානයේ ඉහළම නායකයින් බොහොමයක් මියගොස් ඇති බව ට්‍රම්ප් පවසන අතර, ඊළඟට නායකත්වයට පත්වන්නේ කවුදැයි තවමත් පැහැදිලි නැත. “පළමු සහ දෙවන පෙළ නායකයින් සියල්ලම පාහේ දැන් මියගොස් අවසන්” යැයි ට්‍රම්ප් සඳහන් කළේය.
මෙම යුද්ධය සති හතරක් හෝ පහක් ඇතුළත අවසන් විය හැකි බවට පුරෝකථනය කළත්, අවශ්‍ය වුවහොත් ඕනෑම කාලයක් (Whatever it takes) යුද්ධය පවත්වාගෙන යන බවට ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ. මේ අතර, ඇමෙරිකානු ගොඩබිම් හමුදා (Ground troops) ඉරානයට යැවීමක් සිදු නොවන බවට රජය සහතික වුවද, ට්‍රම්ප් පවසා ඇත්තේ “අවශ්‍ය වුවහොත්” එය සිදුකරන බවයි.
මෙම අවිනිශ්චිතභාවය හේතුවෙන් ඇමෙරිකානු කොන්ග්‍රසය තුළ ද ට්‍රම්ප්ට එරෙහිව විවේචන එල්ල වෙමින් පවතින අතර, පැහැදිලි උපායමාර්ගයකින් තොරව ඇමෙරිකාව තවත් දිගුකාලීන යුද්ධයකට මැදිවනු ඇතැයි ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ බිය පළ කරති.















