මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “එල් මෙන්චෝ” (El Mencho) නමින් හැඳින්වෙන නෙමේසියෝ රුබෙන් ඔසෙගුවේරා සර්වාන්ටෙස් අත්අඩංගුවට ගැනීමත් සමඟ පසුගිය සතියේ මෙක්සිකෝව පුරා දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් හටගත්තේය. ඔහුගේ “ජලිස්කෝ නිව් ජෙනරේෂන්” (Jalisco New Generation) කාටෙල් කල්ලිය විසින් පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ල කරමින් සහ ට්‍රක් රථ ගිනිබත් කරමින් සිදුකළ මෙම ගැටුම්වලින් ගර්භණී කාන්තාවක ඇතුළු පුද්ගලයන් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මෙම ප්‍රචණ්ඩත්වය මගින් යළිත් වරක් තහවුරු වී ඇත්තේ මෙක්සිකානු අපරාධ කල්ලි සතුව පවතින අතිනවීන අවි ආයුධවලින් අතිමහත් බහුතරය අමෙරිකා එක්සත් ජනපදයේ සිට නීති විරෝධී ලෙස ජාවාරම් කරන ලද ඒවා බවයි.
මෙක්සිකෝ ආරක්ෂක අමාත්‍ය රිකාඩෝ ට්‍රෙවිල්ලා ට්‍රේජෝ පවසන පරිදි, එල් මෙන්චෝ අත්අඩංගුවට ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත් බැරට් රයිෆල්, රොකට් විදින සහ අත්බෝම්බ ඇතුළු අවි ආයුධවලින් 80%ක්ම අමෙරිකානු දේශසීමාව හරහා පැමිණි ඒවාය. ජනාධිපති ක්ලෝඩියා ෂෙයින්බෝම්ගේ පරිපාලනය ආරම්භයේ සිට මේ දක්වා මෙක්සිකානු බලධාරීන් අවි ආයුධ 23,000ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙක්සිකෝවේ ගිනි අවි ලබා ගැනීම සඳහා ඉතා දැඩි නීති පවතින නමුත්, අමෙරිකාවේ පවතින ලිහිල් ගිනි අවි නීති හේතුවෙන් ජාවාරම්කරුවන්ට ඉතා පහසුවෙන් අවි ආයුධ මිලදී ගෙන දේශසීමා හරහා මෙක්සිකෝවට රැගෙන යාමට අවස්ථාව සැලසී තිබේ.
සංඛ්‍යාලේඛනවලට අනුව වසරකට අමෙරිකාවේ සිට මෙක්සිකෝවට අවි ආයුධ 135,000 සිට 730,000 දක්වා ප්‍රමාණයක් ජාවාරම් කෙරේ. මෙයින් අදහස් වන්නේ දිනකට අවි ආයුධ 2,000ක් පමණ දේශසීමා හරහා මෙක්සිකෝවට ඇතුළු වන බවයි. මෙයින් 83%ක්ම ඇරිසෝනා, ටෙක්සාස් සහ කැලිෆෝනියා වැනි දේශසීමා ප්‍රාන්තවල පිහිටි ස්වාධීන ගිනි අවි අලෙවිකරුවන්ගෙන් මිලදී ගන්නා ඒවාය. කුඩා කණ්ඩායම් ලෙස හෝ වාහන තුළ සඟවා ඉතා සූක්ෂ්ම ලෙස මෙම ආයුධ රැගෙන එන බැවින් ඒවා සොයා ගැනීම බලධාරීන්ට දැඩි අභියෝගයක් වී ඇත.
මෙම අවි ජාවාරම පාලනය කරන ලෙස ජනාධිපති ෂෙයින්බෝම් අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් කිහිපවරක්ම ඉල්ලා සිටියද, අමෙරිකාවේ පවතින ගිනි අවි නිෂ්පාදකයන්ගේ බලපෑම් කණ්ඩායම් (Gun lobby) හේතුවෙන් සාර්ථක නීති පද්ධතියක් සකස් කිරීම ප්‍රහේලිකාවක් වී පවතී. මෙක්සිකෝ රජය විසින් අමෙරිකානු ගිනි අවි නිෂ්පාදකයන්ට එරෙහිව පවරා තිබූ නඩු ද එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා ප්‍රතික්ෂේප කරන ලදී. මෙම “යකඩ ගංගාව” (Iron River) නතර කරන තෙක් මෙක්සිකෝවේ අපරාධ කල්ලි මර්දනය කිරීම සහ ප්‍රචණ්ඩත්වය අවම කිරීම අසීරු වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














