ඊශ්‍රායලය සහ ඇමරිකාව සමඟ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න වීමත් සමඟ, ඉරාන රජය විසින් සියලුම වර්ගයේ ආහාර ද්‍රව්‍ය සහ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. ඉරාන බුද්ධි අංශ වාර්තාවලට අනුව, මෙම පියවර ගෙන ඇත්තේ යුද සමයකදී රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීමට සහ දේශීය සැපයුම සුරක්ෂිත කිරීමටයි.
ඉරාන රජය ප්‍රකාශ කර ඇත්තේ, ජනතාවට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා රජය ප්‍රමුඛතාවය ලබා දෙන බවයි. පසුගිය සෙනසුරාදා සිට ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායකයා ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් මියයාමෙන් පසු ඉරානය මෙම හදිසි ආරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කර ඇත. මෙම අපනයන තහනම නිසා ලෝක වෙළඳපොළේ, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ ආහාර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් ද මතුව තිබේ.














