මැදපෙරදිග කලාපයේ හටගත් දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පළමු ගුවන් යානය අද (03) දින පස්වරුවේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. ෆිට්ස් එයාර් (FitsAir) ගුවන් සේවයට අයත් 8D–821 දරන මෙම ගුවන් යානය පස්වරු 01:20 ට සිය ගමනාන්තය බලා පියාසර කළ බව ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා තහවුරු කළේය.
A-320 එයාර් බස් වර්ගයට අයත් මෙම ගුවන් යානය තුළ මගීන් 47 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 10 දෙනෙකු ගමන් කර ඇති අතර, මෙය ගැටුම් ආරම්භ වීමෙන් පසු එම කලාපය වෙත මෙරටින් ගමන් ගත් පළමු වාණිජ ගුවන් යානය වේ. ඉදිරි දින කිහිපය තුළ මැදපෙරදිග කලාපයේ අනෙකුත් රටවල් වෙත ද ගුවන් ගමන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවක් පවතින බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.














