පසුගිය සෙනසුරාදා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලින් පුද්ගලයන් 787 දෙනෙකු මියගොස් ඇති බව ඉරාන රතු කුරුස සංගමය තහවුරු කරයි. ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සංගමය (HRANA) පෙන්වා දෙන්නේ මියගිය අය අතර සිවිල් වැසියන් 742 දෙනෙකු සිටින බවත්, ඉන් 176 දෙනෙකුම කුඩා දරුවන් බවත්ය. මෙම දරුණු ජීවිත හානියත් සමඟ ඉරානය පුරා දැඩි මානුෂීය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරාන පාර්ලිමේන්තු සෞඛ්‍ය කොමිසමේ සාමාජිකා ෆාතිමේ මොහොමඩ්බෙයිගි පවසන පරිදි ප්‍රහාරකයන් විසින් රෝහල් නවයක් ඉලක්ක කර ඇති අතර, එය ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කිරීමක් බවට ඇය චෝදනා කරයි. ටෙහෙරානයේ පිහිටි ගාන්ධි රෝහලට ප්‍රහාර එල්ල වූ බවට නැගෙන චෝදනාවලට පිළිතුරු දෙමින් ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිසේත්ම රෝහලක් ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකළ බවයි. කෙසේ වෙතත්, රෝහල් ආශ්‍රිතව සිදුවූ මෙම පිපිරීම් හේතුවෙන් රෝගී සත්කාරක සේවාවලට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.














