නේපාලයේ මහා මැතිවරණය හෙට (මාර්තු 05) පැවැත්වීමට නියමිතව ඇති අතර, දශක දෙකකට අධික කාලයක් එරට දේශපාලනය හසුරුවමින් මාරුවෙන් මාරුවට අගමැති ධුරය දැරූ ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් කිසිවෙකු මෙවර බලය සඳහා වන ප්‍රධාන තරගයේ ඉදිරියෙන්ම නොසිටීම විශේෂත්වයකි. පැරණි පන්නයේ නායකයින් මෙන් දිගු දේශන පවත්වනු වෙනුවට, ජනතාව සමඟ සෘජුව ගනුදෙනු කරන නව පරපුරේ නායකයින් කෙරෙහි එරට තරුණ ප්‍රජාවගේ දැඩි ආකර්ෂණයක් යොමු වී තිබේ.
මෙම නව දේශපාලන රැල්ලේ ප්‍රමුඛයෙකු ලෙස කාත්මණ්ඩු නුවර හිටපු ජනප්‍රිය නගරාධිපතිවරයා ඉස්මතු වී ඇති අතර, ඔහු දිවයින පුරා සිදුකරන සංචාරයන් සඳහා අතිවිශාල ජනකායක් එක්රොක් වෙමින් පවතී. නේපාලයේ ‘Gen Z’ පරපුර හෙවත් තරුණ ඡන්දදායකයින් අතර පවතින මෙම නව ප්‍රබෝධය හේතුවෙන් එරට සාම්ප්‍රදායික දේශපාලන සිතියම සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
විශේෂයෙන්ම දූෂණයට එරෙහි වීම සහ වඩාත් විනිවිදභාවයකින් යුතු පාලනයක් වෙනුවෙන් පෙනී සිටින මෙම තරුණ නායකයින්, හිමාලයේ අසිරිය මැද නේපාල දේශපාලනයට නව ජවයක් එක්කරමින් සිටියි. හෙට පැවැත්වෙන මැතිවරණයේ ප්‍රතිඵල අනුව නේපාලයේ පාලන මධ්‍යස්ථානය වන ‘සිංහ දර්බාර්’ (Singh Durbar) වෙත පිවිසෙන නායකයා කවුරුන්ද යන්න තීරණය වනු ඇත.














