දිදුලන අහස සිඹින ගොඩනැඟිලි, බදු රහිත ඉහළ වැටුප් සහ මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වයෙන් බැහැරව පවතින අතිශය ආරක්ෂිත නවාතැන ලෙස දශක හතරක් පුරා ගොඩනඟාගෙන තිබූ ඩුබායි නගරයේ ප්‍රතිරූපය පසුගිය සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයත් සමඟ දැඩි අභියෝගයකට ලක්ව තිබේ. ඇමරිකානු සහ ඉශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක කමේනි ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන්, ඉරානය විසින් ඩුබායි නගරය ඉලක්ක කර ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම මෙලෙස සියල්ල වෙනස් කිරීමට හේතු විය.
යුද්ධය ආරම්භ වූ මුල් දින දෙක ඇතුළත ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත මිසයිල 400ක් සහ ඩ්‍රෝන යානා 1,000කට ආසන්න සංඛ්‍යාවක් මුදා හැර ඇති අතර, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් ඩුබායි නගරයේ ආරක්ෂක පද්ධති පසාරු කරමින් ඇතුළු වීමට සමත්ව ඇත. ඩුබායි ගුවන්තොටුපොළ, පාම් ජුමේරා (Palm Jumeirah) සහ ලොව සුප්‍රසිද්ධ බර්ජ් අල් අරාබ් (Burj Al Arab) හෝටලය අසලින් දුම් රොටු නැඟෙන අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප සහ දර්ශන විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.
1985 වසරේ එමිරේට්ස් ගුවන් සේවය ආරම්භ කිරීමේ සිට 1999 දී බර්ජ් අල් අරාබ් විවෘත කිරීම සහ විදේශිකයන්ට දේපළ අයිතිය ලබාදීම වැනි ක්‍රියාමාර්ග හරහා ඩුබායි නගරය ලෝකයේ වඩාත්ම විශ්වාසදායක ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස සිය අනන්‍යතාවය ගොඩනඟාගෙන තිබුණි. එහෙත් වත්මන් ඉරාන ප්‍රහාර හමුවේ එම ‘ආරක්ෂිත සන්නාමය’ දැඩි ලෙස පරීක්ෂාවට ලක්ව ඇති අතර, මෙය ගෝලීය මූල්‍ය වෙළෙඳපොළට සහ සංචාරක කර්මාන්තයට ද සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයෝ මත පළ කරති.















