ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති වී තිබෙන යුදමය ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පළමු ඇමරිකානු සෙබළුන් පිරිස නම් කිරීමට ඇමරිකානු හමුදාව පියවර ගෙන ඇත. පසුගිය ඉරිදා කුවේටයේ පෝර්ට් ෂුවායිබා (Port Shuaiba) හි පිහිටි ඇමරිකානු මෙහෙයුම් මධ්‍යස්ථානයකට එල්ල වූ නියමුවන් රහිත යානා ප්‍රහාරයකින් (Drone Attack) මෙම සෙබළුන් මියගොස් තිබේ.
ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව මුලින් තිදෙනෙකු ලෙස වාර්තා වුවද, සුන්බුන් අතර තිබී තවත් සිරුරු හමුවීමත් සමඟ එම සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇත. මෙලෙස මියගිය පිරිස අතරින් සිව්දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් කෝඩි කෝර්ක් (35), නෝවා ටයිජන්ස් (42), නිකෝල් ඇමෝර් (39) සහ ඩෙක්ලාන් කෝඩි (20) යන ඇමරිකානු යුද හමුදා රක්ෂිත බලකායේ සෙබළුන් බව තහවුරු කර තිබේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ප්‍රකාශ කළේ ආරක්ෂිත මෙහෙයුම් මධ්‍යස්ථානයකට ඉතා ප්‍රබල අවියක් මගින් ප්‍රහාරය එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත්, අදාළ ගොඩනැගිල්ලේ ආරක්ෂිත තත්ත්වය පිළිබඳව හමුදා නිලධාරීන් අතර සැකයක් මතුව ඇත. ඉරානය විසින් ඇමරිකානු හිතවාදී ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කරන අතර බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය වැනි රටවල් ද මෙම ප්‍රහාරවලට ලක්ව තිබේ.
මේ අතර, කුවේටයේදී සිදුවූ ‘Friendly Fire’ (තම පාර්ශවයෙන්ම එල්ල වූ ප්‍රහාර) සිදුවීමකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් කඩා වැටී ඇති අතර, එහි සිටි ගුවන් නියමුවන් දිවි බේරා ගැනීමට සමත්ව ඇත.














