ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බස්ති (Basti) දිස්ත්‍රික්කයේදී 17 හැවිරිදි දැරියක ඇය නිදා සිටියදීම වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ. මෙම ඝාතනය සිදු කර ඇත්තේ මීට පෙර ඇයව දූෂණය කළ බවට චෝදනා ලබා පොලීසිය මඟින් සොයමින් සිටි 22 හැවිරිදි සැකකරුවෙකු විසිනි.
පසුගිය අඟහරුවාදා (මාර්තු 03) අලුයම 1:00ට පමණ නිවසේ පිටුපස දොරෙන් ඇතුළු වූ සැකකරු, ඇය නිදා සිටියදීම හිසට සහ බෙල්ලට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි. එම අවස්ථාවේදී ඇය අසල නිදා සිටි ඇයගේ සොහොයුරාට ද සැකකරු පහර දී තර්ජනය කර තිබේ. නිවසින් පිටත නිදා සිටි දැරියගේ මව සැකකරුව වැළැක්වීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇයට ද වෙඩි තබා ඇති නමුත් ඉන් ඇයට හානියක් සිදුවී නොමැත.
පොලිස් වාර්තාවලට අනුව, මෙම සැකකරු විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී දැරිය මත්ද්‍රව්‍ය දී දූෂණය කර තිබූ අතර එහි දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජනය කර තිබුණි. ඒ සම්බන්ධයෙන් දැරියගේ පවුලේ අය විසින් කල්වාරි පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද ගොනු කර තිබූ අතර, සැකකරු එතැන් සිට සැඟවී සිට ඇත. ඝාතනයෙන් පසු පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව බස්ති අතිරේක පොලිස් අධිකාරී ශ්‍යාමකාන්ත් මහතා සඳහන් කළේය.














