ආන්දෝලනාත්මක ‘වින්ද්‍රිත පල්ලිය’ (Unification Church) විසුරුවා හැරීමට ලබා දී තිබූ නියෝගයක් ජපානයේ ටෝකියෝ මහාධිකරණය විසින් යළිත් තහවුරු කර තිබේ. තම බැතිමතුන් නොමඟ යවමින් විශාල වශයෙන් මුදල් පරිත්‍යාග ලබාගන්නා බවට එල්ල වූ චෝදනා මත පල්ලියේ ආගමික මධ්‍යස්ථානය විසුරුවා හැරීමට පසුගිය වසරේදී පහළ උසාවියක් නියෝග කර තිබූ අතර, පල්ලිය විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.
“මුනීස්” (Moonies) යන නමින් ප්‍රචලිත මෙම ආගමික කල්ලිය ජපානයේ දැඩි අවධානයට ලක්වූයේ 2022 වසරේදී එරට හිටපු අගමැති ෂින්සෝ අබේ (Shinzo Abe) ඝාතනයට ලක්වීමත් සමඟයි. අබේ මහතාට වෙඩි තැබූ ටෙට්සුයා යමගාමි ප්‍රකාශ කළේ, මෙම පල්ලියට මුදල් පරිත්‍යාග කිරීම නිසා තම පවුල බංකොලොත් වූ බවත්, අගමැතිවරයා එම සංවිධානය සමඟ සමීප සබඳතා පැවැත්වීම නිසා තමා මෙම ඝාතනය සිදුකළ බවත්ය.
මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක වීමත් සමඟ පල්ලියට හිමිව තිබූ බදු සහන අහිමි වන අතර එහි දේපළ ඈවර කිරීමට ද සිදුවනු ඇත. කෙසේ වෙතත්, ආයතනයක් ලෙස එය විසුරුවා හැරුණද ආගමික කටයුතුවල නිරත වීමට නීතිමය බාධාවක් නොමැති බව වාර්තා වේ. ජපානය තුළ මෙවැනි විසුරුවා හැරීමේ නියෝගයකට මුහුණ දුන් පළමු ආගමික සංවිධානය මෙය වන අතර, ඔවුන්ට මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට තවදුරටත් අවස්ථාව පවතී.














