පසුගිය වසරේ (2025) පාකිස්ථානය සමඟ පැවති ‘සින්දූර් මෙහෙයුම’ (Operation Sindoor) අතරතුර S-400 ගුවන් ආරක්ෂණ පද්ධතිය දැක්වූ විශිෂ්ට දක්ෂතාවය සැලකිල්ලට ගනිමින්, රුසියාවෙන් තවත් එවැනි පද්ධති 5ක් මිලදී ගැනීම සඳහා වූ ඉන්දීය ගුවන් හමුදාවේ යෝජනාවට ආරක්ෂක ප්‍රසම්පාදන මණ්ඩලයේ (DPB) අනුමැතිය හිමිව තිබේ. ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර, එය දැන් අවසන් අනුමැතිය සඳහා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ප්‍රමුඛ ආරක්ෂක අත්පත් කර ගැනීමේ කවුන්සිලය (DAC) වෙත යොමු කර ඇත.
2025 මැයි මාසයේදී පාකිස්ථානය සමඟ පැවති දින හතරක ගැටුම අතරතුර (Operation Sindoor), ඉන්දියාවේ S-400 පද්ධතිය විසින් කිලෝමීටර් 300කට වඩා ඈතින් සිටි පාකිස්ථාන ඔත්තු බැලීමේ ගුවන් යානයක් විනාශ කරමින් ලොව දීර්ඝතම ගුවන් ඉලක්ක විනාශ කිරීමේ වාර්තාව තැබීය. එසේම පාකිස්ථාන ප්‍රහාරක යානා 5ක් පමණ බිම හෙළීමට ද මෙම පද්ධතිය දායක වූ බව වාර්තා වේ.
2018 වසරේ අත්සන් කළ ගිවිසුමකට අනුව ඉන්දියාවට ලැබිය යුතු S-400 පද්ධති 5න් 3ක් මේ වන විටත් මෙහෙයුම් කටයුතුවල නිරත වේ. ඉතිරි පද්ධති 2 මෙම වසර තුළ (2026) සහ 2027 දී ලැබීමට නියමිතය. නව යෝජනාව ක්‍රියාත්මක වීමත් සමඟ ඉන්දියාව සතු මුළු S-400 පද්ධති සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ යනු ඇත.
සින්දූර් මෙහෙයුමේදී පාකිස්ථානය විසින් භාවිත කළ චීන නිෂ්පාදිත HQ-9 ගුවන් ආරක්ෂණ පද්ධති ඉන්දීය ගුවන් ප්‍රහාර හමුවේ අසාර්ථක වූ බවත්, ඒ හා සසඳන විට රුසියානු S-400 පද්ධතිය (ඉන්දියාවේදී ‘සුදර්ශන්’ ලෙස හැඳින්වේ) අතිශය සාර්ථක වූ බවත් ඉන්දීය ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
S-400 පද්ධති ආරක්ෂා කිරීම සඳහා කෙටි දුර විහිදෙන ‘Pantsir S-1’ මිසයිල පද්ධති 13ක් මිලදී ගැනීමට ද ඉන්දියාව සූදානම් වේ. මින් 10ක් ගුවන් හමුදාවට ද 3ක් යුද හමුදාවට ද ලබාදීමට සැලසුම් කර ඇත.













